ලංකාවේ ප්‍රධාන ජලාශ 74ක වතුර 36%ට බහී | නියඟයක පෙරනිමිති පහළවෙයි(වීඩියෝ)

දිවයිනේ තෙත් කලාපයේ පිහිටි ප්‍රධාන ජලාශවල ජල මට්ටම ස්ථාවර මට්ටමක පැවතුණද, වියළි කලාපයේ ජලාශවල ජල ධාරිතාව සීඝ්‍රයෙන් පහත බැස ඇති බවත්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව 36% දක්වා අඩු වී ඇති බවත් වාරිමාර්ග අධ්‍යක්ෂ සූරිය බණ්ඩාර අනතුරු අඟවයි.

ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ හම්බන්තොට, මඩකලපුව, මොනරාගල, මන්නාරම සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල පිහිටි ඇතැම් ජලාශවල ජල මට්ටම මේ වන විටත් 36% ට වඩා පහත වැටී ඇති බවයි.

ඉදිරි කාලගුණික වෙනස්වීම් සඳහා සූදානම් වීමට එල් නිනෝ පුරෝකථන පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවීමේ වැදගත්කම ද පෙන්වා දුන් ඔහු, මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

වාරිමාර්ග අධ්‍යක්ෂවරයාට අනුව, සාමාන්‍යයෙන් අගෝස්තු මාසයේ පවතින වියළි කාලගුණය එල් නිනෝ තත්ත්වය හේතුවෙන් මෙවර වඩාත් උග්‍ර වී ඇත. පවතින අධික වියළි කාලගුණය නිසා ජලය වාෂ්පීභවනය වීම වේගවත් වී ඇති අතර, එය පවතින ජල ධාරිතාව තවදුරටත් අඩුවීමට හේතු වී තිබේ.

ජල ඉල්ලුම ඉහළ යද්දී ජල සම්පත වේගයෙන් ක්ෂය වෙමින් පවතී. පානීය ජල සැපයුමට මෙතෙක් බාධාවක් වී නොමැති වුවද, ඇතැම් ප්‍රදේශවල වගා කටයුතු සඳහා ජලය නිකුත් කිරීම මේ වන විටත් සීමා කර ඇති බව වාරිමාර්ග අධ්‍යක්ෂ සූරිය බණ්ඩාර සඳහන් කළේය.

දැඩි ලෙස බලපෑමට ලක්වූ ප්‍රදේශවල ප්‍රමුඛතාවය දිය යුත්තේ පානීය ජලයට සහ පාරිසරික අවශ්‍යතාවලට බැවින්, කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය මුදා හැරීම වඩාත් දුෂ්කර වන බව ද ඔහු අවධාරණය කළේය.

මෙම අභියෝගයට මුහුණ දිය හැකි එකම මාර්ගය ජලය අල්ප ලෙස හා පරෙස්සමෙන් භාවිත කිරීම සහ පරිසර හිතකාමී ලෙස ජීවත් වීම පමණක් බවද ඔහු පෙන්වා දුන්නේය.

තවද, පවතින අධික රශ්මිය සහ වියළි කාලගුණය හමුවේ ලැව්ගිනි ඇතිවීමේ සහ ඒවා වේගයෙන් පැතිර යාමේ වැඩි අවදානමක් පවතින බවට ද අධ්‍යක්ෂවරයා ජනතාවට අනතුරු ඇඟවීය.