ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ විස්සයි-20 ත් ඉහළින්ම දිනති

බංග්ලාදේශයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම, බංග්ලාදේශයට එරෙහිව අද (02 දා) පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන්ද ජය වාර්තා කරමින් තරගාවලිය 3-0 ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ටසමත්විය. සිල්හට්හි පැවති මෙම තරගය වර්ෂාවෙන් බලපෑමට ලක්වී ඔවර් 9කට සීමා වූ අතර, අවසානයේ ශ්‍රී ලංකාව ලකුණු 3ක තියුණු ජයක් වාර්තා කළේය.

තරගය ආරම්භය පැය දෙකහමාරකට ආසන්න ප්‍රමාදයකින් සිදු වූ අතර, පළමුව පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පවර් ප්ලේ අවස්ථාව තුළම වේගවත් ආරම්භයක් ලබා ගත්තේය. එම පන්දුවාර 3 දී ලකුණු 40 ක් රැස් කළ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉමේෂා දුලානි පන්දු 10 කින් ලකුණු 19 ක් වාර්තා කළේ හතරේ පහර 4 ක් ද සමගිනි.

ඉන් පසුව කණ්ඩායමේ බර වැඩියෙන්ම දරා ගත්තේ නායිකා චමරි අතපත්තු හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 41ක් රැස් කරමින් කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවීමට කැපී පෙනෙන දායකත්වයක් දැක්වූවාය. අනෙක් අන්තයෙන් පන්දුවට පහර දීමට පැමිණි පිතිකාරිණියන් එකා පිට එකා දැවී ගියත් සුරක්ෂිත වූ ඉනිම චමරි දිගටම කරගෙන ගියාය.

ඉනිම මැදින් පැමිණි කවීෂා දිල්හාරිගේ වේගවත් පන්දු 7 කදී ලකුණු 15ක් ලබා ගැනීමට සමත්වීම නිසා ශ්‍රී ලංකවට ලකුණු 87ක් දක්වා ඉහළ දමා ගැනීමට අවස්ථාව උදාවිය. පන්දු යැවීමේදී සුල්තානා කාතුන් කඩුලු 3 ක් දවා ගනිමින් ශ්‍රී ලංකාව පීඩනයට ලක් කළාය.

ලකුණු 88ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට ආරම්භයම අභියෝගාත්මක විය. පිත්තටම අමතරව පන්දුවෙන්ද දස්කම් අතරට පිවිසි චමරි අතපත්තු පළමු කඩුල්ල දවා ගත්තාය. පසුව ජයිරියා ෆර්ඩස් සහ සොභනා මොස්ටරි අතර හොඳ සම්බන්ධතාවක් ගොඩ නැගී තිබුණද සත්කාරක ක්‍රීඩිකාවන්ට වඩා සංචාරක ක්‍රීඩිකාවන් දක්ෂතා අතරට පිවිසීම හේතුවෙන් ඔවුනට ඉලක්කගත ලකුණු සංඛ්‍යාව රැස් කර ගැනීමට නොහැකි වූවාය.

අවසන් ඔවරයේ ලකුණු 14ක් අවශ්‍ය වූ අතර, එම පීඩනය යටතේ බංග්ලාදේශයට ලබාගත හැකි වූයේ එක් හතරේ පහරක් සමගින් ලකුණු 10 ක් පමණි. ඒ අනුව ශ්‍රී ලංකාව ලකුණු 3කින් තරගය ජයගනු ලැබුවේය.

තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වූ නායිකා චමරි අතපත්තු තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින්ද සමස්ථ තරගාවලියේ දක්වන ලද දක්ෂතා හේතුවෙන් තරගාවලියේ දක්ථම ක්‍රීඩිකාව ලෙසින්ද ඇයව නම් කරනු ලැබුවාය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 9 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 87 යි – (චමරි අතපත්තු 41, කවීෂා දිල්හාරි 15*, ඉමේෂා දුලානි 19, සුල්තානා කටුන් 08/3)

බංග්ලාදේශ කාන්තා කණ්ඩායම පන්දුවාර 9 කදී කඩුලු 6 ක් දැවි ලකුණු 84 යි – (ජූරියියා ෆර්ඩස් 15, සෝබනා මොස්ටරී 21, නිගර් සුල්තානා 13, සුගන්ධිකා කුමාරි 22/2, චමරි අතපත්තු 15/2, කවීෂා දිල්හාරි 16/1, මිතලි අයෝද්‍යා 13/1)