ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එකට එක කරති

ශ්‍රී ලංකා කාන්තා පිලේ නායිකා චමරි අතපත්තුගේ තුන් ඉරියව් දක්ෂතා නිසා පහසුවෙන්ම බංග්ලාදේශ කණ්ඩායම පරාජයට පත් කරන ලද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට රැගෙන ආහ. රාජ්ෂාහි පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මෙම ජය අත්කරගත්හ.

ලකුණු 166 ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා පිලේ පළමු කඩුලු 2 ම ලකුණු 46 කදී බිඳ දැමීමට බංග්ලාදේශ පන්දු යවන්නියන් සමත්වූ අතර මුලු ලකුණු සංඛ්‍යාව 79 ක්ව තිබියදී නායිකා චමරි අතපත්තුවද දවා ගැනීමට නහිදා අක්ටර් සමත්වූවාය.

එහෙත් අංක 4 සහ 5 ස්ථානවලින් පන්දුවට පහර දීමට පැමිණි හර්ෂිතා සමරවික්‍රම සහ හංසිමා කරුණාරත්න එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 110 කදී ගොඩනංවන ලද ලකුණු 77 ක සම්බන්ධතාව හේතුවෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අපහසුවකින් තොරවම ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්හ.

ජයග්‍රහණයට ලකුණු 10 ක් තිබියදී හංසිමා දැවී යෑමෙන් පසු නැවතත් තරගයට අවතීර්ණ වූ නහිදා අක්ටර් ලකුණු 07 ක් ඇතුළත හර්ෂිතා සමරවික්‍රම සහ කෞෂානි නුත්‍යාංගනාගේ කඩුලු දවා ගත් නමුත්, ශ්‍රී ලංකා ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු 03 අපහසුවකින් තොරව රැස් කරගන්නා ලද්දේ කඩුලු 4 ක් සහ පන්දු 70 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තබා ගනිමිනි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය වූ හර්ෂිතා පන්දු 76 කදී හතරේ පහර 7 ක් ද සමගින් ලකුණු 50 ක් ලබා ගත්තාය. මෙය හර්ෂිතාගේ එක්දින තරග දිවියේ 09 වැනි අර්ධ ශතකය ලෙසින් සනිටුහන් විය. ඇයට අනගි සහායක් ලබා දුන් හංසිමා කරුණාරත්න පන්දු 64 කදී හතරේ පහර 6 ක සමගින් ලකුණු 40 ක් රැස් කරගත්තාය. ඇය පළමු තරගයේදීද ලකුණු 54 ක් දක්වමින් පිත්තෙන් දස්කම් දැක්වූවාය.

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම ආරම්භයම තම කණ්ඩායමට වෙත ලබාදීමට මඳ වේග පන්දු යවන්නී මල්කි මදරා සමත්වූවාය. ඇය පළමුව ජූරියා ෆර්ඩස් (02) සහ පෙර තරගයේදී ලකුණු 86 ක් ලබා ගනිමින් බංග්ලාදේශ ජයග්‍රහණයට ප්‍රධාන මං පෙත් විවර කර දුන් ශර්මින් අක්ටර් ව ලකුණු ලබා ගැනීමට පෙර දවා ගත්තාය.

ෂර්මින් සුල්තානා (25) සහ නායිකා නිගර් සුල්තානා (58) එක්ව කඩා වැටුණු බංග්ලාදේශ ඉනිම ලකුණුන් ලකුණු ගොඩගත්හ. ඒ අතරට කඩා පැන් චමරි අතපත්තු ෂර්මින්ව දවා ගනිමින් එම කඩුල්ලේ සම්බන්ධතාව බිඳ දැම්මාය. එතැන් පටන් බංග්ලාදේශ වෙනුවෙන් පන්දුවට පහර දීමට පැමිණි පිතිකාරිණියන් අතරින් නිගර් සුල්තානා හැරුණු කොට අනෙක් සියලුම පිතිකාරිණියන් ලකුණු 20 ට අඩුවෙන් තබා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත්වූහ.

ඇඟිල්ලේ ආබාධයක් හේතුවෙන් පළමු තරගයට ක්‍රීඩා නොකළ චමරි අතපත්තු අද තරගයට ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැඩිම කඩුලු ලාභිණිය බවට පත්වීමට සමත්වූවාය. ඇය පන්දුවාර 8 කදී නිලකුණු පන්දුවාරයක්ද සමගින් ලකුණු 36 කට කඩුලු 3 ක් දවා ගත්තාය. ඇයට අමතරව මල්කි මදාරා, නිමාෂා මීපගේ සහ ඉනෝකා රණවීර කඩුලු 2 බැගින් බිඳ හෙලූහ. තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් චමරි අතපත්තු සම්මාන දිනාගත්තාය.

දෙපිළම තරගාවලිය 1-1 ක් ලෙස කරට කර සිටින බැවින් ලබන 25 වැනිදා පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින තරගය අවසන් මහ තරගයක ස්වරූපයක් යටතේ පැවැත්වෙනු ඇත.

බංග්ලාදේශ කාන්තා කණ්ඩායම පන්දුවාර 45.5 කදී සියලු දෙනා දැවී ලකුණු 165 යි – (නිගර් ස්ල්තානා 58, ෂර්මින් සුල්තානා 25, ෂොරනා අක්ටර් 16, රිතූ මෝනි 17, නහිදා අක්ටර් 20, රෙබෙයා ඛාන් 15, චමරි අතපත්තු 36/3, මල්කි මදාරා 30/2 නිමාෂා මීපගේ 29/2, ඉනෝකා රණවීර 28/2, කවීෂා දිල්හාරි 24/1)

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 38.2 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 166 යි – (හර්ෂිතා සමරවික්‍රම 50, හංසිමා කරුනාරත්න 40, චමරි අතපත්තු 40, හසිනි පෙරේරා 05, ඉමේෂා දුලානි 08, කවීෂා දිල්හාරි 02*, කෞෂානි නුත්‍යාංගනා 04, නිලක්ෂි ද සිල්වා 02*, නහිදා අක්ටර් 21/4, සුල්තානා ඛටුන් 36/1, රිතූ මෝනි 27/1)