මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම නිසා ගෝලීය නාවික හා වෙළඳ කටයුතුවලට බාධා එල්ල වී ඇති පසුබිමක, අධික වටිනාකමකින් යුත් භාණ්ඩ ප්‍රවාහනය සඳහා ශ්‍රී ලංකාව විකල්ප සංක්‍රමණික මධ්‍යස්ථානයක් ලෙස නැගී එමින් පවතින බව වාර්තා වේ.
ඊට උදාහරණයක් සපයමින් ඉතාලියේ නිෂ්පාදිත ලැම්බෝගිනි වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථ 14ක තොගයක් ශ්‍රී ලංකාව හරහා ප්‍රවාහනය කිරීමට පියවර ගෙන ඇත.
ඉතාලියේ සිට මුහුදු මාර්ගයෙන් හම්බන්තොට වරාය වෙත රැගෙන ආ මෙම මෝටර් රථ, පසුව අඩි 40 ප්‍රමාණයේ බහාලුම් 7ක පටවා කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළ වෙත ප්‍රවාහනය කර තිබේ.
එතැන් සිට විශාල භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මඟින් ඒවා ඩුබායි සහ කටාර්හි දෝහා නුවර වෙත ගුවන් ගත කිරීමට නියමිතව තිබිණි.
අදාළ භාණ්ඩ ප්‍රවාහන කටයුතු භාරව කටයුතු කරන ඩෙන්මාර්ක සමාගමේ නියෝජිතයකු සඳහන් කළේ, සාම්ප්‍රදායික වෙළඳ මාර්ග කලාපීය නොසන්සුන්තාව හේතුවෙන් අඩාල වී ඇති මොහොතක, මෙලෙස ශ්‍රී ලංකාව විකල්ප සැපයුම් කොරිඩෝවක් ලෙස භාවිත කිරීම තුළින් මෙරටට විශාල ආර්ථික වාසි අත්කර ගත හැකි බවයි.
මෙම නැව්ගත කිරීමට ඇතුළත් ඇතැම් මෝටර් රථවල වටිනාකම රුපියල් මිලියන 100ක පමණ සිට වඩාත්ම මිල අධික මාදිලි සඳහා රුපියල් මිලියන 500ක් දක්වා වන බව වාර්තා වේ.
අදාළ මෝටර් රථ මීට දින කිහිපයකට පෙර හම්බන්තොට වරායට ළඟා වී ඇති අතර, ඒවා රැගත් ගුවන් යානය අගෝස්තු 21 වැනිදා එනම් අද උදෑසන කටුනායකින් ඩුබායි සහ දෝහා බලා පිටත්ව යාමට නියමිතව පැවතිණි.
ශ්‍රී ලංකාවේ භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්රයට වැදගත් සන්ධිස්ථානයක් විය හැකි මෙම සිදුවීම වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ට අනපේක්ෂිත බාධාවලට මුහුණ දීමට සිදු විය.
කටුනායක ගුවන්තොටුපළ වෙත ගිය මාධ්‍යවේදීන්ට මුලදී ගුවන්තොටුපළ බලධාරීන්ගෙන් සහාය ලැබුණද, කටුනායක ගුවන් භාණ්ඩ ගම්මානයේ අපනයන අංශයේ සේවයේ නිරත ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් නිලධාරීන් විසින් අදාළ මෙහෙයුම ආවරණය කිරීමට අවසර දීම ප්‍රතික්ෂේප කර මාධ්‍යවේදීන් එම පරිශ්‍රයෙන් ඉවත් කර ඇත.
ශ්‍රී ලංකාව විකල්ප භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස නැගී එන ආකාරය ලෝකයට පෙන්වීමට තිබූ මෙම අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට ඉඩ නොදීම පිළිබඳ දැඩි ප්‍රශ්න මතුව තිබේ.
මාධ්‍යවේදීන්ට ආවරණ කටයුතු තහනම් කර තිබියදී, අදාළ ස්ථානය වටා රැස්ව සිටි සාමාන්‍ය ජනතාව ඔවුන්ගේ ජංගම දුරකථන භාවිත කරමින් අදාළ රථවල ඡායාරූප සහ වීඩියෝ ලබා ගන්නා අයුරු නිරීක්ෂණය වීම ද මෙහි පැවැති තවත් විශේෂත්වයකි.









Leave a Reply