මෙවර ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේදී සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන චේතනා විමුක්ති දැක්වූ දක්ෂතා පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු විය.
අගෝස්තු 29 වන දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවති තරගයේදී චේතනා විමුක්ති දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 16කට කඩුලු 03ක් දවා ගැනීමට සමත් වූවා ය. එහිදී ඇය මනාව පන්දුව පාලනය කරමින් එක්සත් අරාබි කණ්ඩායමේ පිතිකාරියන්ට ප්‍රබල තර්ජනයක් වන අයුරින් පන්දු යවන ආකාරයක් දැක ගත හැකි විය.
තමන් සහභාගී වූ මංගල ජාත්‍යන්තර T20 තරගයේදී ම දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍ර වූ චේතනා විමුක්ති ක්‍රිකට් ක්‍රීඩිකාවක ලෙස ඉදිරියට ආ ගමන්මග පිළිබඳව බීබීසී සිංහල සිදුකළ සොයා බැලීමකි, මේ.
කුඩා කල සිට පැවති කැමැත්ත
2002 වසරේ ජනවාරි මස 10 වන දා උපත ලැබූ අලුත්ගෙදර චේතනා විමුක්ති කුඩා කාලයේ සිට ම ක්‍රිකට් ක්‍රීඩාවට අතිශය ඇල්මක් දැක්වූ බව ඇයගේ මව වන ඊ.එම්. කුමාරිහාමි බීබීසී සිංහල සේවයට පැවසුවා ය.
“චේතනා හම්බ වුණේ නිවුන් දරු උපතක් හැටියට. එය යි එයාගේ මල්ලි යි දෙන්නා තමයි එකට හම්බ වුණේ. මේ දෙන්නට වැඩිමල් තව අයියා කෙනෙක් ඉන්නවා,” බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් චේතනාගේ මව පැවසුවා ය.
මොණරාගල දිස්ත්‍රික්කයට අයත් බුත්තල ආනපල්ලම, 5 කණුව ප්‍රදේශයේ චේතනාගේ නිවස පිහිටා තිබේ. චේතනාගේ මව්පියන්ට රබර් ඉඩමක් හිමි අතර ඔවුහු ඒ ආශ්රිත රැකියාවන්හි නිරත වෙති.
“දුව පොඩි කාලේ ඉඳල ම හරි ආසයි ක්‍රිකට් සෙල්ලම් කරන්න. එයා පැල්ලත නවෝද්‍යා පාසැලේ ඉගෙන ගන්න කාලේ ඉඳල ම ක්‍රිකට් සෙල්ලම් කරන්න දක්ෂ යි කියලා ඉස්කෝලේ හිටිය උපුල් සර් එහෙම කියනවා. දුව ගෙදර වැඩවලට උදව් කරනකොටත් කොස්ස අරන් ක්‍රිකට් ගහනවා වගේ සෙල්ලම් කර කරයි වැඩ කරන්නේ,” චේතනාගේ මව පැවසීය.
ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ඇති කැමැත්ත හේතුවෙන් චේතනා මොණරාගල දුටුගැමුණු ජාතික පාසලට ඇතුළු වී කලක් අධ්‍යාපනය හදාරා නැවත උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා පැල්ලත නවෝද්‍යා පාසැලට පැමිණි බව ඇයගේ මව පැවසුවා ය.






Leave a Reply