පහුගිය දවසක මම ශ්‍රියන්ත දිසානායක ගැන ලිව්වා. ඒ තමයි ’90 මුල හෙළ මළල ක්‍රීඩාවේ සිහින කුමාරයා. සිහින කුමරියන්ගේ ලැයිස්තුවේ ඉහළින් හිටපු කෙනෙක් තමයි ධම්මිකා මැණිකේ. ගාල්ල සංඝමිත්තාවෙන් බිහිවූ මීටර 800, 1500 ධාවන ශූරිය.
1985දී මීටර 1500 ඉසව්වේ යොවුන් ජාතික වාර්තාව ඇය විසින් පිහිටවනු ලැබුවා. මිනිත්තු 04.35.7ක් වශයෙන්. නැවත යොවුන් ක්‍රීඩිකාවක විසින් ඒ වාර්තාව බිඳින්නේ වසර 39කට පස්සෙයි. ආසන්නව දශක 4ක් නොබිඳුණු වාර්තාවක්.
1991 කොළඹදී පැවති දකුණු ආසියානු මළල ක්‍රීඩා උළෙලේදී ඇය විසින් මීටර 800 රන් පදක්කම දිනාගත්තා. ඒ තමයි මීටර 800 ඉසව්වේදී එවකට ශ්‍රී ලංකාව විසින් ලබාගත් ඉහළම ජයග්‍රහණය. ධම්මිකා එතනින් නැවතුණේ නෑ. 1993 මැනිලාහිදී පැවති ආසියානු මළල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ලෝකඩ පදක්කමත් දිනාගත්තා.
1992 බාසිලෝනා ඔලිම්පික් උළෙලේදී ඇය විසින් මීටර 800 ශ්‍රී ලංකා වාර්තාව පිහිටවූවා. මිනිත්තු 02.03.83ක කාලයක් වාර්තාකරමින් එදා ඇය තැබූ වාර්තාව අවුරුදු 24කට බිඳුණේ නෑ. මතක විදියට ඒ වාර්තාව බින්දේ නිමාලි ලියනආරච්චි විසින් 2017දී. අදටත් මීටර 800 වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් වාර්තාකළ හොඳම කාලයන් 10 ගත්තහම ඉන් 9ක්ම 2000ට පසුව වාර්තාවුණු ඒවා. ධම්මිකා මැණිකේ මේ වාර්තාව තියන්නේ 1992දී. එතකොට අපට හිතාගන්න පුළුවන් ඇගේ කාලයට සාපේක්ෂව ඇය ශ්‍රී ලංකාවේ කොච්චර ඉහළින් හිටියද කියලා.
මෑතකාලීනව මීටර 800 ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුම දස්කම් දක්වනවා අපි දැක්කා. තරුෂි කරුණාරත්න, 2023දී ආසියානු ශූරතා වාර්තාව බිඳලා ශ්‍රී ලංකා වාර්තාවත් තමන් සතුකරගත්තා. ඇය එක්ක ගයන්තිකා අබේරත්න, නිමාලි ලියනආරච්චි, දිල්ෂි කුමාරසිංහව අපි දැක්කා. ඒත් ධම්මිකා මැණිකේගේ යුගයේ ඇය තමයි ඒ ඉසව්වේ ශූරිය. තරුෂිගේ, ගයන්තිකාගේ, දිල්ෂිගේ, නිමන්තිකාගේ නම් වලට යටින් ධම්මිකා මැණිකේගේ වාර්තාව තවමත් 5වැනි තැන තියෙනවා.
ඇයවත් අපි පුවත්පත් වලින් එහෙම බොහෝවිට දැක්කා. ඉස්සර පුවත්පත් කියවන සංස්කෘතියක් තිබුණා. අද ඒක සමාජ මාධ්‍ය වලට ඇවිත්. ධම්මිකා මැණිකේලා දුවන කාලේ එහෙම එකක් තිබුණේ නැති වුණත් දසදිග ප්‍රේක්ෂක ජනීජනයා ඇයව දැනහිටියා. එකල ප්‍රේක්ෂකයන් මළල ක්‍රීඩාවට දැක්වූවේ ඒ තරම් ආදරයක්.
– අසංක හදිරම්පෑල.










Leave a Reply