ශ්‍රී ලංකා ක්‍රිකට් නව දිශාවකට ගෙනියන ‘උද්‍යෝගිමත් සැලැස්ම‘ ගැන කර්ස්ටන් හඬ අවධි කරයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්වූ පළමු සතිය තුළදීම කණ්ඩායම තුළ අධ්‍යයනයක් සිදුකරමින් ක්‍රීඩකයින්ගේ තත්ත්වය හා අවශ්‍යතා පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගත් බව සඳහන් කර සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු වන ගැරී කර්ස්ටන් මහතා ඒ හරහා කණ්ඩායම ඉදිරියට ගෙන යෑම සඳහා අවශ්‍ය ව්‍යුහගත සැලසුමක් යටතේ ක්‍රියා කරමින් සිටින බවත් සඳහන් කර සිටියේය. එය “උද්යෝගිමත් නව ව්‍යාපෘතියක්” ලෙස තමන් දකිනා බවත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වා සිටියේය.

“රට තුළ දක්ෂයින් ගොඩක් ඉන්නවා. මම දැන් ගාල්ලට යනවා A කණ්ඩායමේ (ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩඩායම සහ නවසීලන්ත ‘ඒ‘ කණ්ඩායම අතර සිව්දින තරගය) තරගය නරඹන්න. ක්‍රීඩකයින්ගේ දක්ෂතා දැක ගැනමට ඉතා උද්යෝගිමත් කරුණක්“ යැයිද කර්ස්ටන් මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේය.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් කර්ස්ටන් මහතා අප්‍රේල් මස 15 වැනිදා වැඩ භාර ගත් නමුත් පළමු වතාවට මාධ්‍යය හමුවේ පෙනී සිටියේ අද (23 දා) පෙරවරුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ, සියලුම ක්‍රිකට් ආකෘතිවලින් ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථක වීම තමන්ගේ අරමුණ බවයි. තවත් මාස 17 ක කාලයකින් පසු පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම සූදානම් කිරීම ඉන් ප්‍රධාන ඉලක්කයක් බවද ඔහු සඳහන් කළේය.

2011 එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව අනුශූරතාවයට පත් වීමට හේතුවූ අවස්ථාවේදී, ඉන්දියාවට ශූරතාව දිනා දීමට ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු ගැරී කර්ස්ටන් මහතාය. අද ඔහුම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වී, එදා බිඳ වැටුණු ශ්‍රී ලාංකේය රසික සිත් නැවත ගොඩනැගීමේ අභියෝගය භාරගෙන තිබීම විශේෂත්වයකි.

“රටේ සිටින දක්ෂ ක්‍රීඩකයින් හොඳම මට්ටමට ගෙන එමින්, ඔවුන් ලෝකයේ හොඳම කණ්ඩායම්වලට එරෙහිව සාර්ථකව ක්‍රීඩා කළ හැකි තත්ත්වයකට පත් කිරීම තමයි අපේ අරමුණ. අපි හැමෝම කැමැති ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඔවුන්ට හැකි උපරිමයෙන් ක්‍රීඩා කරනවා දකින්න වගේම ඉහළම ස්ථානයේ ඉන්නවා දකින්න“ යැයි කර්ස්ටන් මහතා වැඩිදුරටත් පැවැසීය.

මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා සහ ක්‍රිකට් අධ්‍යක්ෂ ජෙරෝම් ජයරත්න මහතා සමඟ සිදු කළ සාකච්ඡාවන් හරහා ක්‍රිකට් ආයතනය තුළ ක්‍රියාත්මක වන ක්‍රියාවලීන් ගැන තමන් වැඩි අවබෝධයක් ලබා ගත් බවත් ඒ පිළිබඳව තමන් සතුටු වන බවත් ඔහු සඳහන් කළේය.

කණ්ඩායම පීඩනයකට ලක්විය හැකි අවස්ථා ඉදිරියේ ඇති විය හැකි බව තමන් පිළිගන්නා නමුත්, එහිදී වැදගත්ම දේ වන්නේ කණ්ඩායම එකම දිශාවකට ගමන් කිරීම බවද අවධාරණය කළේය.

“අප සියලු දෙනාම විශ්වාස කරන නිවැරදි මාවතට කණ්ඩායම ගෙන යාම අතිශය වැදගත්” යැයි ඔහු කියා සිටියේය. තවද, ශ්‍රී ලංකා ක්‍රිකට් පද්ධතිය පිළිබඳව තමා තවමත් සම්පූර්ණ විචාරයක් කිරීමට නොහැකි තත්ත්වයක සිටින බවත්, එබැවින් සවිස්තරාත්මක අදහස් දැක්වීම වගකීම් විරහිත වනු ඇති බවත් ඔහු පැවසීය. කෙසේ වෙතත්, ක්‍රීඩකයින්ට උපරිම දක්ෂතා දැක්විය හැකි “පිරිසිදු හා ස්ථීර ක්‍රමවේදයක්” පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කර්ස්ටන් මහතා අවධාරණය කළේය.

මේ අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිිත ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් කණ්ඩායමේ සූදානම් ක්‍රියාවලිය මේ වනවිටම ආරම්භ කර ඇති බවද කර්ස්ටන් මහතා පවසයි. ඔහු සඳහන් කළේ ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට එක්දින තරග 20 සිට 25 දක්වා සංඛ්‍යාවක් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙන බවයි. එම තරග මාලාවන් කණ්ඩායමේ ප්‍රගතිය මැන බැලීමට සහ අවශ්‍ය සංශෝධන සිදු කිරීමට ඉතා වැදගත් වනු ඇතැයිද ඔහු අවධාරණය කළේය.

“අපට දැනටමත් හොඳ කණ්ඩායමක් තියෙනවා. නමුත් දකුණු අප්‍රිකාවේ තත්වයන් යටතේ අපට අවශ්‍ය සාර්ථකත්වය ලබා ගැනීමට හැකි සියලුම දේ සිදු කළ යුතුයි. එමෙන්ම, එරට ක්‍රීඩා තත්වයන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හුරුපුරුදු තත්වයන්ට වඩා බෙහෙවින් වෙනස්. ඒ සදහා අපිට වෙනනම සැලසුම් අවශ්‍ය වෙනවා“ යැයිද ඔහු සදහන් කර සිටියේය.

එමෙන්ම, ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැත්වෙන තරගාවලි සම්බන්ධවද අදහස් දැක්වූ ඒ මහතා “ප්‍රතිඵල ඉතා වැදගත්. අපට ඒවා නොසලකා හරිනු බැහැ. ලෝක කුසලානයට පෙර අපි ක්‍රීඩා කරන සෑම තරගාවලියකදීම හොඳ වාර්තාවක් තබා ගැනීමට අපි උත්සාහ කරනවා,” යනුවෙන් සඳහන් කර සිටියේය.

ඉදිරි මාස කිහිපය තුළ ක්‍රමානුකූලව කණ්ඩායමේ කාර්ය සාධනය වැඩිදියුණු කරමින්, ලෝක කුසලානයට පැමිණෙන විට ශක්තිමත් සහ සම්පූර්ණ කණ්ඩායමක් ලෙස තරග බිමට පිවිසීම තම ප්‍රධාන අරමුණ බව ද කර්ස්ටන් මහතා සඳහන් කර සිටියේය.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථකත්වයට ගෙන යාම සඳහා ප්‍රධාන අවධානය යොමු කර ඇත්තේ සමබර කණ්ඩායමක් සොයා ගැනීම සහ ගොඩනැගීම බවද ඒ මහතා සඳහන් කර සිටියේය. තමන් මෙතෙක් කටයුතු කරන ලද ඕනෑම කණ්ඩායමක ප්‍රධාන අරමුණ වූයේ විවිධ ක්‍රීඩා ආකෘති හරහා හොඳම සංයෝජනය හඳුනා ගැනීම බවයි. එක් එක් තනතුරට ගැලපෙන ක්‍රීඩකයින් පමණක් නොව, එම තනතුරු සඳහා ඇති ගැඹුරද (depth) සලකා බැලීමේ වැදගත් භාවයද මෙහිදී ඔහු පෙන්වා දුන්නේය.

“මේ මොහොතේ මගේ ප්‍රමුඛතාවය වෙන්නේ, විවිධ ආකෘතිවල අපට අවශ්‍ය භූමිකාවන් හඳුනා ගැනීම සහ ඒවා ඉටු කළ හැකි ක්‍රීඩකයින් කවුද කියලා තේරුම් ගැනීමයි“ යැයි ඒ මහතා පවසා සිටියේය.

“ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියටම ගෙනියන එක මගේ ප්‍රමුඛතාවයයි. අපි ඒ සඳහා කටයුතු කරනවා. හොඳ ක්‍රීඩකයින් ගොඩක් ඉන්නවා කියලා මම හිතනවා. ඒ නිසා ශ්‍රේණිගත කිරීමහි ශ්‍රී ලංකා පිල ආකෘත්‍රි තුනේ ඔවුන් රැඳී සිටින තැන ඔවුන්ට කිසිසේත්ම ගැලපෙන්නේ නෑ. නමුත් අපි නිවැරදි දිශාවට ගමන් කරනවා. හොඳ ක්‍රීඩකයින් සමඟ, ඔබට බොහෝ දේ කළ හැකියි. ඒ නිසා මම ඒ ගමන ගැන උද්යෝගිමත්“ යනුවෙන්ද කර්ස්ටන් මහතා සදහන් කර සිටියේය.

“ඒවගේම මම හිතන්නේ අපි හැමෝම නූතන ක්‍රිකට් ක්‍රීඩාව පැවැත්වෙන වේගයට නියත වශයෙන්ම හුරුවෙන්න ඕන. ලෝකයේ හොඳම කණ්ඩායම් සමග තරග කිරීමට රට තුළ ප්‍රමාණවත් දක්ෂතා සහ කුසලතා ාසහිත ක්‍රීඩකයින් සිටිනවා. මම මීට මාස කීපයකට පෙර ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති විස්සයි-20 තරගය පිළිබඳව මතකය අවධි කළා. එය ශ්‍රී ලංකාව විසින් සිදුකරන ලද විශිෂ්ඨ තරග රටාවක්. ශක්තීන් වල ගැටලුවක් නෑ. අවශ්‍ය වන්නේ ස්ථාවරත්වය ඉහළ නැංවීමයි. ඒ වගේම කණ්ඩායම තුළ වන සමබරතාවය හෙදින් ක්‍රියාත්මක නොවන තැන් තියෙනවා නම් අපි ඒවා හඳුනා ගනිමින් අවශ්‍ය කටයුතු සිදුකරන එක අපගේ කාර්යය භාරය සහ වගකීමයි. අපි එම කුසලතා සපුරාලීම සඳහා ක්‍රීඩකයින් සූදානම් කරන්න ඕන“ යනුවෙන් කර්ස්ටන් මහතා සඳහන් කර සිටියි.

මේ අතර ක්‍රීඩක යෝග්‍යතාවය පිළිබඳවද මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යෙව්දීන් විසින් කර්ස්ටන් මහතාගෙන් අදහස් විමසා සිටි අතර, කණ්ඩායමේ සාර්ථකත්වයට ක්‍රීඩක යෝග්‍යතාවය අත්‍යවශ්‍ය අංගයක් බව අවධාරණය කර සිටියේය. ““ක්‍රීඩකයින්ට කාර්ය සාධනයක් දක්වන්න පුළුවන් වෙන්න ඕන. නමුත් ඔවුන් හැමවිටම ඉහළ යෝග්‍යතා මට්ටමක නොසිටින්න පුළුවන්. නමුත් මට නම් යෝග්‍යතාවය කියන්නේ ක්‍රීඩකයින් හැකි තරම් කාලයක් පිටියේ තබා ගැනීමයි” යැයි ඔහු පැවසීය.

තරඟාවලියක වැදගත් අවස්ථාවලදී ආබාධ හේතුවෙන් ක්‍රීඩකයින් අහිමි වීම කණ්ඩායමට දැඩි බලපෑමක් වන බැවින්, ඒ සඳහා නිසි සූදානමක් සහ යෝග්‍යතා මට්ටමක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවද ඔහු පෙන්වා දුන්නේය. “වැදගත් තරඟයකදී ක්‍රීඩකයින් තුවාල වීම හොද දෙයක් නොවේ. ඒ නිසා යෝග්‍යතාවය ඉතා වැදගත්,” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ලෝකයේ බොහෝ කණ්ඩායම් යෝග්‍යතා අභියෝගයන්ට මුහුණ දෙන බවත්, එය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ ගැටලුවක් නොවන බවත් කර්ස්ටන් මහතා පැහැදිලි කළේය. ඒ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ යෝග්‍යතා වැඩසටහන දැනටමත් ක්‍රියාත්මක වන බවත්, එම ප්‍රමිතීන් ක්‍රීඩකයින්ට අතිශයින් දුෂ්කර නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

“ක්‍රීඩකයින් සම්මත මට්ටම් කරා ළඟා විය යුතුයි. ඒක සෑම දෙනාගෙන්ම අපේක්ෂා කරන දෙයක්. මම මීට පෙර පුහුණුකරු ලෙස සම්බන්ධ වූ වෙනත් රටවල්වලත් මේ යෝග්‍යතා වැඩසටහනට මෙහේ තියෙන එක බොහෝ දුරට සමානයි,” යැයිද කර්ස්ටන් මහතා සදහන් කර සිටියේය.

මෙම මාධ්‍ය හමුව සදහා කර්ස්ටන් මහතාට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා සහ ක්‍රිකට් අධ්‍යක්ෂ ජෙරෝම් ජයරත්න මහතාද සහභාගිව සිටියහ.