සොනල්ගේ ලකුණු133 එක්ක ලංකාව පරාජයෙන් බේරෙද්දී ඉන්දියාවේ WTC ප්‍රසාද ලකුණු මට්ටම පහළට

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ඉන්දියාවට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජයපරාජයෙන් තොරව අවසන් වීමත් සමඟ, 2025-27 ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ (WTC) ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ තවදුරටත් රැඳී සිටීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.

මෙම තරගය ජයපරාජයෙන් තොරව අවසන් වීම නිසා කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු 4 බැගින් හිමිවූ අතර, තරග 6කට සහභාගී වී සිටින ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 24ක් සමඟින් 33.33%ක ප්‍රසාද ලකුණු ප්‍රතිශතයක් රඳවාගෙන සිටියි.

ඉන්දීය කණ්ඩායම තවදුරටත් 5 වැනි ස්ථානයේ රැඳී සිටියද, මෙම තරගයෙන් පසු ඔවුන්ගේ ප්‍රසාද ලකුණු ප්‍රතිශතය 53.33% සිට 51.52% දක්වා පහත වැටී ඇති අතර, ඔවුන් තරග 11කින් ප්‍රසාද ලකුණු 68ක් ලබාගෙන ඇත.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ (WTC) වත්මන් ශ්‍රේණිගත කිරීම් මෙසේයි;

1. ඕස්ට්‍රේලියාව – 80.00%
2. දකුණු අප්‍රිකාව – 75.00%
3. නවසීලන්තය – 72.22%
4. බංග්ලාදේශය – 55.56%
5. ඉන්දියාව – 51.52%
6. ශ්‍රී ලංකාව – 33.33%
7. එංගලන්තය – 29.76%
8. බටහිර ඉන්දීය කොදෙව් – 20.83%
9. පාකිස්ථානය – 19.05%

පළමු ඉනිමේදී ලකුණු 213ක පසුපසින් සිටිමින් ෆලෝ-ඔන් පන්දුවට පහරදීමට සිදුවූ ශ්‍රී ලංකා කණ්ඩායම, අවසන් දිනයේදී දැක්වූ සටන්කාමී ක්‍රීඩා විලාසය හේතුවෙන් දෙවන ඉනිමේදී කඩුලු 9කට ලකුණු 429ක් ලබාගනිමින් පරාජයෙන් බේරීමට සමත් විය.

පළමු ඉනිමේදී ලකුණු 103ක් ලබාගත් සොනල් දිනුෂ, දෙවැනි ඉනිමේදී පන්දු 264කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 133ක් රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිම සවිමත් කළේය.

ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගය ලකුණු 165කින් ජයගත් ඉන්දීය කණ්ඩායම තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනීමට සමත් විය.