ඩෙලන් සහ අනුෂ්ක සරසන්ස්ට පහසු ජයක් ගෙන එති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘ගවනර්ස් කප්’ අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (30) බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ පැවැති සරසන්ස් ක්‍රීඩා සමාජය සහ කෘෘෂේඩර්ස් ක්‍රීඩා සමාජය අතර තරගයෙන් සරසන්ස් ක්‍රීඩා සමාජය කඩුලු 7ක පහසු ජයක් අත්කර ගත්තේය. තරගය නිමවීමට තවත් පන්දුවාර 30.4ක් ඉතිරිව තිබියදී ඔවුන් මෙම ජය වාර්තා කළහ.

කෘෘෂේඩර්ස් ක්‍රීඩා සමාජය පන්දුවට පහරදීමට පිවිසි අවස්ථාවේ ආරම්භයේදීම ලකුණු 15කට කඩුලු 4ක් දවා ගනිමින් සරසන්ස් පිලට ශක්තිමත් ආරම්භයක් ලබා දුන් ඩෙලන් පීරිස්, තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නම් කෙරිණි.

කෘෘෂේඩර්ස් පිල වෙනුවෙන් අංක 3 පිතිකරු ටෙහාන් බිටර් ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කරමින් අටවැනි කඩුල්ල දක්වා තණතිල්ලේ රැඳී සිටිමින් පන්දු 92කට මුහුණ දී හතරේ පහර 2ක් සමඟ ලකුණු 47ක් රැස් කරමින් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා විය. කෙසේ වෙතත්, අනෙකුත් පිතිකරුවන් සාර්ථක වීමට නොහැකි වූ අතර, කණ්ඩායම පන්දුවාර 39.1කදී ලකුණු 136කට සියල්ලම දැවී ගියේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සරසන්ස් ක්‍රීඩා සමාජය, ආක්‍රමණශීලී පිතිකරණයක නිරත වෙමින් පන්දුවාර 19.2කදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 138ක් රැස් කළේය.

එහිදී ආරම්භක පිතිකරු අනුෂ්ක පෙරේරා පන්දු 47කට මුහුණ දී හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 52ක් රැස් කළ අතර, අංක 3 පිතිකරු ජනක සම්පත් පන්දු 12කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 29ක් රැස් කළේ වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින්ය.

අනුෂ්ක පෙරේරා සහ ජනක සම්පත් දෙවන කඩුල්ල සඳහා පන්දු 46කදී ලකුණු 70ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් ජයග්‍රහණයට මූලික විය.


ලකුණු විස්තරය

කෘෘෂේඩර්ස් ක්‍රීඩා සමාජය – පන්දුවාර 39.1කදී සියල්ලම දැවී ලකුණු 136
ටෙහාන් බිටර් 47, රචින්ත ද සිල්වා 26, ස්ටීවන් පීරිස් 17
ඩෙලන් පීරිස් 15/4, චතුර හේමකුමාර පීරිස් 9/2, දේශාන් ප්‍රනාන්දු 33/2, ජනක සම්පත් 34/2

සරසන්ස් ක්‍රීඩා සමාජය – පන්දුවාර 19.2කදී කඩුලු 3ක් දැවී ලකුණු 138
අනුෂ්ක පෙරේරා 52, නයන ප්‍රනාන්දු නොදැවී 32, ජනක සම්පත් 29, ධනුෂ්ක මධුශංක නොදැවී 16
සඳරු ඩයස් 30/1, අර්ජුන් ගුණවර්ධන 36/1

තරගයේ දක්ෂතම ක්‍රීඩකයා – ඩෙලන් පීරිස් (සරසන්ස් ක්‍රීඩා සමාජය)