පැරදුන තරග දෙකටත් එක්ක ලබා ගත් සුපිරි දිනුමේ කතාව! කවුද හිතුවේ අපේ උන් එංගලන්තය මේ විදිහට පොළොවෙ ගහයි කියලා…

තරග දෙකක් පරාජය වූ බව සැබෑය. එහෙත් අප තරගාවලිය නිමා කරන්නේ එංලන්ත කණ්ඩායමට සර්ව සම්පූර්ණ උත්තරයක් ලබා දෙමිනි. මේ සතුට දෝරේ ගලා යන මොහොතකි. අප කඩුළු 08කින් දිනුම්ය.
අතීත කතාව
ඕවල් ක්‍රීඩාංගනයේ අප මින් පෙර අවසන් වරට තරග කළේ මීට වසර 26කට පෙරය. එනම් 1998 දී ය. එදා මේ තණතිරුවේ මහා වික්‍රමය කළේ මුරලි සහ සනත්ය . සනත් එදා මේ පිටියේ ලකුනු 213ක් ලැබුවේය. මුරලි ලකුණු 65කට කඩුළු 09ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10ක විශිෂ්ට ජයක් ලැබුවේය.

එහෙත් මෙවර අප මේ තරගය ක්‍රීඩා කළේ එදා පැවති තණතීරුවේ තත්ත්වය තුළ නොවේ. සරත් සමයේ කාලගුණ තත්ත්වය ආරම්භ වී තිබිණි. පසුගිය ප්‍රාන්ත ශූරතාවලියේ තරග 6කදී දඟ පන්දු යවන්නන් හමුවේ බිඳ වැටී තිබුණේ කඩුලු 26ක් පමණි. වේග පන්දු යවන්නෝ කඩුළු 173ක් ලැබූහ. තෙත් කාලගුණය සහ වැසි සඳහා පුරෝකථනය විය. එය වසර 26 කට පෙර ශ්‍රී ලංකාව ඕවල් පිටියේ තරග කළ අවස්ථාවේ දී මුරලි ආධිපත්‍යය දැරූ තණතීරුවට වඩා සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ස්වරූපයේ තණ තීරුවක් විය. කණ්ඩායමේ විශේෂඥ දඟ පන්දු යවන්නා වූ ප්‍රභාත් ජයසූරිය බංකුවේ තබා ඇතුළට ගත් විශ්ව ප්‍රනාන්දු සමග වේග පන්දු යවන්නන් සිවු දෙනෙකුගෙන් සමන්විතව ශ්‍රි ලංකා කණ්ඩායම තරග වැදුනේය. දඟ පන්දුව කෙරෙහි විශාල බලාපොරොත්තු සහිත ශ්‍රී ලංකා කණ්ඩායම සිය විශේෂඥ දඟ පන්දු යවන්නා බංකුවේ තබා තරග කිරීම එතරම් හුරු ඇත්දැකීමක් නොවේ. එංගලන්ත කණ්ඩායම හෝ ස්වකීය විශේෂඥ දඟ පන්දු යවන්නා වූ ෂොයිබ් බෂීර් වෙනුවට වේග පන්දු යවන්නෙක් ආදේශ කරගත්තේ නැත. ශ්‍රී ලංකා කණ්ඩායමේ තීන්දුව වෙනස්ම ආකාරයේ තීන්දුවක් වන්නේ එබැවිනි.

කෙසේ වෙතත් මේ තරගය සම්බන්ධව ක්‍රීඩා විචාරකයන් පුරෝකථන කර තිබිණි. ශ්‍රී ලංකාව මීට පෙර එංගලන්තයේදී ටෙස්ට් තරග තුනකින් සමන්විත තරගමාලා හතරකට ක්‍රීඩා කර ඇති අතර කිසිවිටෙකත් පූර්ණ තරග පරාජයක් ලැබුවේ නැත. එය සුබවාදී ප්‍රවේශයක් ලෙස විචාරකයෝ දුටුවහ. එමෙන්ම ඕවල් ක්‍රීඩාංගනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ එක තරගයක්වත් පැරදී තිබුණේ නැත. එබැවින් මේ තරගය අඩුම තරමින් ජය පරාජයෙන් කෙළවර වනු දැකීමට බලාපොරොත්තු ඇති කරගත හැකි ඉතිහාසයක් විය. කෙසේ වෙතත් මේ තරගය මේ තරම් විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරනු ඇතැයි ඇත්තටම අප හිතුවේ නැත.

තරග සාරාංශය
තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 2-1 ක් ලෙස එංගලන්තය ජය ගනු ලැබුව ද, අවසන් තරගයේදී සත්කාරක එංගලන්තය අල්ලා පොළොවේ ගසන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.