සේනක බටගොඩ: ‘පාදයේ සැත්කමකට රෝහලට ගිය’ ජනප්‍රිය ගායන ශිල්පියා සදහට ම නිහඬ වෙයි

ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්වූ ගීත රැසක් නිර්මාණය කළ ගායන ශිල්පියෙකු, ගිටාර් වාදකයෙකු සහ සංගීත අධ්‍යක්ෂවරයෙකු වූ සේනක බටගොඩ බදාදා (සැප්: 11) අභාවප්‍රාප්ත විය.

ඔහුගේ පවුලේ සමීපතමයෙකු බීබීසී සිංහල සේවයට පැවසුවේ, පාදයේ පැවති රෝගී තත්ත්වයක් මත ඔහු ශල්‍ය කර්ම දෙකකට භාජනය කර සිටි බව ය.

දෙවන ශල්‍ය කර්මය සිදු කිරීමෙන් පසුව ඔහුට ශ්වසන අපහසුතාවක් ඇති වූ බවත් පසුව අභාවප්‍රාප්ත වූ බවත් ඔහු පැවසීය.

සේනක බටගොඩ යනු වෙනස් ආරක තනු නිර්මාණ සහ ගීත හරහා ශ්‍රී ලාංකික රසිකයින් අතර ජනප්‍රියත්වයට පත්වූ සංගීත ශිල්පියෙකි.

පෞද්ගලික තොරතුරු

1958 වසරේ ජූනි මස 25 වන දා උපත ලැබූ සේනක බටගොඩ සීදුව ප්‍රදේශයේ පදිංචි වී සිටියේ ය.

මිය යන විට ඔහු 66 වන වියේ පසු විය.

මුල් කාලයේදී ඔහු ගිටාර් වාදන ශිල්පියෙකු ලෙස කටයුතු කර ඇති අතර ප්‍රවීණ සංගීත ශිල්පීන්ගේ නිර්මාණවලට දායක වූ බව පැවසේ.

ඔහු පිළිබඳව දැඩි රසික අවධානයක් යොමු වූයේ, සංගීත් විජේසූරිය ප්‍රමුඛ ‘වායෝ’ සංගීත කණ්ඩායම ගායනා කළ ‘අපි කවුරුද’ ගීතය ජනප්‍රිය වීමත් සමග ය.

එම ගීතයේ පද සහ තනුව සේනක බටගොඩ විසින් නිර්මාණය කරන ලද බව ප්‍රසිද්ධියට පත්වීමත් සමග ඔහුගේ සෙසු නිර්මාණ රැසක් ද ජනාදරයට පත්විය.

ඔහු නිර්මාණය කළ ‘අපි සැනසිල්ලේ’ ගීතය ද අතිශයින් ජනප්‍රියත්වයට පත්විය.